Wednesday, March 14, 2018

මහණෙනි, 
මිනිහෙක් අත පරඬැල් මටුළු ආදිය එකතු කර බැඳගත් මහා හුළු අත්තක් තිබේ. ඇවිලි ඇවිලී දැල්වෙයි. පලාතම එළිය කරමින් දැල්වෙයි. සැනෙකින් මහ වනයක් ගිනි තබන්නට පුළුවන. ඒ මිනිසා “මම මේ හුළු අත්තෙන් ගංගා නම් ගඟ දිය උණු කරන්නෙමි. තවන්නෙමි.” කියමින් හුළු අත්ත රැගෙන ගංගා නම් ගඟ වෙත දුවයි.
“මහණෙනි ඔබ හිතන්නේ කුමක්ද? ඒ මිනිහාට ගංගා නම් ගඟ තවන්නට, උණු කරන්නට හැකිවේවිද?”
“ස්වාමීනි, ඒ මිනිහාට එය කළ නොහැකියි. ගංගා නම් ගඟ ගැඹුරුයි. මහා දිය කඳකින් පිරුණකි. හුළු අත්තකින් කෙසේ ඒ ගඟේ දිය උණු කරන්නද? ඒ මෝඩ මිනිහා වෙහෙසීම පමණයි සිදුවන්නේ.”
මහණෙනි, නොමනා වචනයෙන් මෛත්‍රී සිත වෙනස් කරන්නට යාමද එබඳුය. යම් කිසිවෙක් කාලෝචිත වූ හෝ නොවූ, සත්‍ය වූ හෝ අසත්‍ය වූ, රළු වූ හෝ මෘදු වූ, අර්ථ සහිත වූ හෝ අර්ථ රහිත වූ වචන මාර්ගයකින් නුඹලා ඇමතුව හොත් ළාමක වචන නිකුත් නොකොට, හිතානුකම්පීව, ආකාශය හා සම වූ මෛත්‍රී සිත පතුරුවා වසන්න. එවිට ඒ වචන නිකුත් කළ පුද්ගලයා වෙහෙසට පත්වීම පමණකි සිදුවන්නේ.
මජ්ජිම නිකාය, කකචූපම සූත්‍රය.

Sunday, March 11, 2018

දුකට පත් බොහෝ දෙනා පුණ්‍ය ක්‍රියා වල නියැලී පතන්නේ ලබන ආත්මයවත් දුකින් තොර වේවා යන්නයි. ඒ භව තණ්හාව නොවේද? දිව්‍ය ලෝකයේ සැප සම්පත් වලට ආශාවෙන් මරණින් මතු දිව්‍ය ලෝකයක උපදින්නට සිතා පින් දහම් කරන උදවියත් අප අතර අඩු නොවෙයි. මරණින් මතු දිව්‍ය සම්පත් ලැබුවත් ඒ පින් බලය අහවර වූ දිනෙක නැවතත් ලබන්නේ මිනිසත් බවයි. නැතිනම් පෙර පින් නිසා යටපත්ව තිබූ අකුසල් විපාක දී දුගතියක ඉපදෙන්නටත් සිදුවේවි. මිනිසත් බව ලද අවස්ථාවේ එය ප්‍රයෝජනයට ගෙන, චතුරාර්‍ය සත්‍ය අවබෝධය පතා කුසල් රැස් කලා නම් එයම සසර පුරුද්දක් බවට පත් කරගෙන සසර ගමන කෙටි කරගත හැකි නොවේද?
”තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො
විපාකං පටිසෙවති”
යම් ක්‍රියාවක් කළ පසුව පසුතැවීමක් ඇතිනොවේද, එහි විපාක ප්‍රීතියෙන් යුතුව විඳීමට හැකිවේද, එවන් කටයුතු වල නියැලීම යහපත්ය.
(ධම්මපදයෙන්)



නතං කම්මං කතං සාධු 
යංකත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රොදං
විපාකං පටිසේවති”

යමක් කොට පසුතැවිලි වීමට සිදුවේ නම්, දුකට පත්ව අඬමින් එහි විපාක විඳීමට සිදුවේ නම්, එවන් ක්‍රියා සිදු නොකළ යුතුය.



බුදුරජාණන් වහන්සේ සත්‍ය හතරක් ලෝක සත්වයින්ට දෙශනා  කර ඇත. එය චතුරාර්ය සත්‍ය යනුවෙන් හැදින්වේ. එනම් 
දුක්ඛ, සමුදය, නිරෝධ , මාර්ග 
යන සත්‍ය හතරයි. එම සත්‍ය හතරින් නිවන දැකිය හැකි බව ප්‍රකාශ කොට ඇත. එහි සඳහන් වන්නේ “ඉධං ඛො පන භීක්ඛ වෙ දුක්ඛ නිරෝධං අරිය සච්චං යො තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො “ (මහණෙනි , දුක්ඛ ආර්ය සත්‍ය නම් මෙයයි. තෘෂ්ණාව ඉතිරි නැතිව ඉවත් කිරීම නැති කිරීම, අත් හැරීම මුළුමනින් ඉවත දැමීම, ඉන් මිදීම හා එහි නොඇලීමයි )
බුදු දහමට අනුව නිවන යනු තෘෂ්ණාව නැති කිරීමයි. “ තණ්හක්ඛයො නිබ්බානං “ සත්වයා සසරට ඇදගෙන යන බන්ධනය වන්නේ තෘෂ්ණාවයි. සම්පූර්ණයෙන් නැති කරන තාක් රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධ තුළින් දුක් ඇතිවේ. දුකට හේතුව වන මේ තෘෂ්ණාව නැති කිරීම පිළිබඳ සංකල්පය බුද්ධ දේශනාවට අනුව සිහාවලෝකන න්‍යාය අනුව ද විස්තර කළ හැකිය.
සිංහයෙකුට ගලකින් ගැසුවහොත් ඒ ගල ගැසුවේ කවරෙකු විසින්දැයි සෝදිසි කොට බලා ගැසූ තැනැත්තා වනසා දැමීම සිංහයාගේ ස්වභාවයයි. ගල ගැසූ තැනැත්තා වනසා දැමූ විට සිංහයාට ගල් නොගසන බව සිංහයාගේ විශ්වාසයයි. දුක් නැති කිරීමේදීද එම න්‍යාය අනුගමනය කළ යුතු ය.
යථාපි මූලේ අනුපද්දෙව දළ්හෙ
ජින්නොපි රුකෙඛා පුනරෙව රූහති
එවම්පි තණ්හානුසයෙ අනුහතෙ
නිබ්බන්ති දුක්ඛං මිදං පුනප්පුනං
ගසක මුල ශක්තිමත්ව තිබියදී එම ගස කපා දැමුවාට පලක් නැත. එය නැවතත් ලියලනු ඇත. එසේම තෘෂ්ණාව නොනැසූ කල පංචස්කන්ධ දුක නැවත නැවතත් ඇති වන බව ඉහත ගාථාවෙන් පැහැදිලි වේ.





ණය නැති මරනයකට උරුමකම් කියමු 



අප්පමාදෝ අමත පදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තාන මීයන්ති
යේ පමත්තා යථා මතා
නොපමා වූවෝ නිවනටත්, පමා වූවෝ මරණයටත් පත් වන බව බුද්ධ දේශනයයි. ප්‍රමාදය යනු සසරටම ඇලී ගැලී ණයකාරයෙකු සේ ණය ගෙවීමයි. අප ජීවිතය ජීවත් කිරීමට මහඟු ප්‍රයත්නයක් දරන පිරිසකි. ඉපදුනාට පසු අකැමැත්තෙන් හෝ ශරීරය නඩත්තු කළ යුතුය. එම නඩත්තුව තුළ ණයකාරයෙකු නොවන අයුරින් ජීවත් වන අයුරු බුදුරදුන් විවිධ සූත්‍ර තුළින් දේශනා කළහ. ඒ සඳහා සිඟාලෝවාද ව්‍යග්ගපජ්ජ , පරාභව, මංගල, වසල, වැනි සූත්‍ර කියවීම වැදගත් වේ. එම සූත්‍ර තුළින් ණයකාරයකු නොවන අයුරින් ජීවත් වීමේ ක්‍රමවේදයන් පැහැදිලි කොට ඇත.
පන්නාට මේ ලොව වැනෙනවා විනා
හෙළ සිරිතට අඹුදරු රකිනවා විනා
රූපේ අරන් පාපේ ගෙවනවා විනා
ගෙනියන දෙයක් නැත ණය ගෙවනවා විනා 

උපන්නා වූ සත්වයා ශරීර කූඩුවක් දරාගෙන උදේ සවස වෙහෙසෙමින් රැකී රක්ෂා කරමින් වතුපිටි, දේපළ රැස් කරමින් අඹු දරුවන් රකිමින් ජීවත් වීම යනු ණය ගෙවීමක් නොවේද උදේ සවස වෙහෙසෙන්නේ පංච ඉන්ද්‍රියන් පෝෂණය කිරීමටත් ඒවා රැක ගැනීමටත්, ඒවා තුළින් මනස සංතර්පනය කිරීමටත්ය. නමුදු පුත්තා මත්ති ධනං මත්ථි යන ගාථා ධර්මයට අනුව අන්තිමට ගෙනියන දෙයක් නම් නැත. සියල්ලම මෙහිම දමා යනු ඇත. ශරීරයද තමනට අහිමි වනු ඇත. එසේනම් ජීවත්ව සිටි කාලය තුළ සිදු කර ඇත්තේ ණය ගෙවීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.