Sunday, March 11, 2018




බුදුරජාණන් වහන්සේ සත්‍ය හතරක් ලෝක සත්වයින්ට දෙශනා  කර ඇත. එය චතුරාර්ය සත්‍ය යනුවෙන් හැදින්වේ. එනම් 
දුක්ඛ, සමුදය, නිරෝධ , මාර්ග 
යන සත්‍ය හතරයි. එම සත්‍ය හතරින් නිවන දැකිය හැකි බව ප්‍රකාශ කොට ඇත. එහි සඳහන් වන්නේ “ඉධං ඛො පන භීක්ඛ වෙ දුක්ඛ නිරෝධං අරිය සච්චං යො තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො “ (මහණෙනි , දුක්ඛ ආර්ය සත්‍ය නම් මෙයයි. තෘෂ්ණාව ඉතිරි නැතිව ඉවත් කිරීම නැති කිරීම, අත් හැරීම මුළුමනින් ඉවත දැමීම, ඉන් මිදීම හා එහි නොඇලීමයි )
බුදු දහමට අනුව නිවන යනු තෘෂ්ණාව නැති කිරීමයි. “ තණ්හක්ඛයො නිබ්බානං “ සත්වයා සසරට ඇදගෙන යන බන්ධනය වන්නේ තෘෂ්ණාවයි. සම්පූර්ණයෙන් නැති කරන තාක් රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධ තුළින් දුක් ඇතිවේ. දුකට හේතුව වන මේ තෘෂ්ණාව නැති කිරීම පිළිබඳ සංකල්පය බුද්ධ දේශනාවට අනුව සිහාවලෝකන න්‍යාය අනුව ද විස්තර කළ හැකිය.
සිංහයෙකුට ගලකින් ගැසුවහොත් ඒ ගල ගැසුවේ කවරෙකු විසින්දැයි සෝදිසි කොට බලා ගැසූ තැනැත්තා වනසා දැමීම සිංහයාගේ ස්වභාවයයි. ගල ගැසූ තැනැත්තා වනසා දැමූ විට සිංහයාට ගල් නොගසන බව සිංහයාගේ විශ්වාසයයි. දුක් නැති කිරීමේදීද එම න්‍යාය අනුගමනය කළ යුතු ය.
යථාපි මූලේ අනුපද්දෙව දළ්හෙ
ජින්නොපි රුකෙඛා පුනරෙව රූහති
එවම්පි තණ්හානුසයෙ අනුහතෙ
නිබ්බන්ති දුක්ඛං මිදං පුනප්පුනං
ගසක මුල ශක්තිමත්ව තිබියදී එම ගස කපා දැමුවාට පලක් නැත. එය නැවතත් ලියලනු ඇත. එසේම තෘෂ්ණාව නොනැසූ කල පංචස්කන්ධ දුක නැවත නැවතත් ඇති වන බව ඉහත ගාථාවෙන් පැහැදිලි වේ.





ණය නැති මරනයකට උරුමකම් කියමු 



අප්පමාදෝ අමත පදං
පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තාන මීයන්ති
යේ පමත්තා යථා මතා
නොපමා වූවෝ නිවනටත්, පමා වූවෝ මරණයටත් පත් වන බව බුද්ධ දේශනයයි. ප්‍රමාදය යනු සසරටම ඇලී ගැලී ණයකාරයෙකු සේ ණය ගෙවීමයි. අප ජීවිතය ජීවත් කිරීමට මහඟු ප්‍රයත්නයක් දරන පිරිසකි. ඉපදුනාට පසු අකැමැත්තෙන් හෝ ශරීරය නඩත්තු කළ යුතුය. එම නඩත්තුව තුළ ණයකාරයෙකු නොවන අයුරින් ජීවත් වන අයුරු බුදුරදුන් විවිධ සූත්‍ර තුළින් දේශනා කළහ. ඒ සඳහා සිඟාලෝවාද ව්‍යග්ගපජ්ජ , පරාභව, මංගල, වසල, වැනි සූත්‍ර කියවීම වැදගත් වේ. එම සූත්‍ර තුළින් ණයකාරයකු නොවන අයුරින් ජීවත් වීමේ ක්‍රමවේදයන් පැහැදිලි කොට ඇත.
පන්නාට මේ ලොව වැනෙනවා විනා
හෙළ සිරිතට අඹුදරු රකිනවා විනා
රූපේ අරන් පාපේ ගෙවනවා විනා
ගෙනියන දෙයක් නැත ණය ගෙවනවා විනා 

උපන්නා වූ සත්වයා ශරීර කූඩුවක් දරාගෙන උදේ සවස වෙහෙසෙමින් රැකී රක්ෂා කරමින් වතුපිටි, දේපළ රැස් කරමින් අඹු දරුවන් රකිමින් ජීවත් වීම යනු ණය ගෙවීමක් නොවේද උදේ සවස වෙහෙසෙන්නේ පංච ඉන්ද්‍රියන් පෝෂණය කිරීමටත් ඒවා රැක ගැනීමටත්, ඒවා තුළින් මනස සංතර්පනය කිරීමටත්ය. නමුදු පුත්තා මත්ති ධනං මත්ථි යන ගාථා ධර්මයට අනුව අන්තිමට ගෙනියන දෙයක් නම් නැත. සියල්ලම මෙහිම දමා යනු ඇත. ශරීරයද තමනට අහිමි වනු ඇත. එසේනම් ජීවත්ව සිටි කාලය තුළ සිදු කර ඇත්තේ ණය ගෙවීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.

Saturday, March 10, 2018

“කර්මයෙන් සියල්ල සිදුවෙතැයි බොහෝ දෙනා සිතති. ඉරණම කර්මය යයි ඔවුහු සලකති. කර්මයෙන් සියල්ල සිදුවේ නම් උත්සාහයක් කුමටද බ්‍රාහ්මණය? මේ කර්මවාදය නිසා බොහෝ මනුෂ්‍යයෝ නිවටව පසුවෙති; අලස ව නිදති. යහපත් සිතිවිලිත් දෘඪ ආත්ම ශක්තියක් ඇත්නම් පින්වත ඔබට බුදු විය හැකි ය. සිත දෛවයේ නිර්මාතෘ වරයාය. ඔබේ සිතුවිලි බලය අනුව ඔබේ ඉරණම විසඳේ.” 




සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනං

සත්‍ය සොයා යන ගමනෙදි සෝවාන්, සකෘදාගාමී ආදී මාර්ගඵල වලට පැමිණ නිර්වාණය ලඟාකරගත හැකි අවස්ථා තිබියදීත්, ඒ අවස්ථා සියල්ල මඟහැර බුද්ධත්වයට පත්වෙන්න යම් මිනිසෙක් කල්ප ගණනක් පෙරුම් පුරනවා නම්, ඒ අපි වගේ සුවහසක් මිනිසුන් කෙරෙහි වන මෛත්‍රිය සහ මහා කරුණාව නිසයි. අපිටත් සසරින් එතෙර වන්නට මාර්ගය විවර කරන්නටයි. මිහිමත පහලවෙන හැම බෝසත් වරයෙක්ම කල්ප ලක්ෂ ගණනාවක් පෙරුම් පුරන්නෙ අපි වෙනුවෙන්. ඒත් ඔවුන් මහා කැපවීමක් කරලා අපි වෙනුවෙන් විවර කරන ධර්ම මාර්ගය, මෝහයෙන් අන්ධ වෙලා අපි විසින්ම වසා දමනවානම් ඒක අපරාධයක්.

බුදුරජාණන් වහන්සේ උපක ආජීවකට තමන් වහන්සේව හඳුන්වා දුන්නේ, තමන් මිනිසුන් අතර උපන්, මිනිසුන් අතර දිවි ගෙවන, එහෙත් මිනිසුන් තුළ වන කෙලෙස් නමැති මඩ ගොහොරුවෙන් මිදුනු අසමසම බුදුවරයෙකු යනුවෙනුයි. බෞද්ධ අපට බොහෝවිට, බුදුවරයෙක් කියන්නෙ අප අතරින්ම බිහිවෙන මනුෂ්‍යයෙක් බව අමතක වෙන බවක් පෙනෙයි. ශ්‍රද්ධාව නිසා බුදුරැස්, පෙළහර වලට වන්දනා කරමින් ගෙවන ජීවිතයෙන් ඉඩක්, සත්‍ය සොයා යාමටත් වෙන් කරනවා නම් ඒක බුදු වරයෙකුට කරන වටිනාම පූජාවක් වේවි.
ඔබ සහ බුදු දහම යනු ඔබේම ඇතුලාන්තය පෙන්වන කැඩපතකි