Wednesday, March 14, 2018

ඔබ සහ බුදු දහම : මහණෙනි, මිනිහෙක් අත පරඬැල් මටුළු ආදිය එකතු කර බැඳග...

ඔබ සහ බුදු දහම : මහණෙනි, මිනිහෙක් අත පරඬැල් මටුළු ආදිය එකතු කර බැඳග...: මහණෙනි,  මිනිහෙක් අත පරඬැල් මටුළු ආදිය එකතු කර බැඳගත් මහා හුළු අත්තක් තිබේ. ඇවිලි ඇවිලී දැල්වෙයි. පලාතම එළිය කරමින් දැල්වෙයි. සැනෙකින් ...
දම්වැල් පුරුක් මෙන් බැඳෙමින් සංසාරේ
පව්කම් කරන වුන් ආරේ ගුණ නැරේ
අදමිටි නෙකෙන් අකුශල් කර නෙක වාරේ
අරී අට දහම විකුනනු ඇයි මහ පාරේ
මහණෙනි, 
මිනිහෙක් අත පරඬැල් මටුළු ආදිය එකතු කර බැඳගත් මහා හුළු අත්තක් තිබේ. ඇවිලි ඇවිලී දැල්වෙයි. පලාතම එළිය කරමින් දැල්වෙයි. සැනෙකින් මහ වනයක් ගිනි තබන්නට පුළුවන. ඒ මිනිසා “මම මේ හුළු අත්තෙන් ගංගා නම් ගඟ දිය උණු කරන්නෙමි. තවන්නෙමි.” කියමින් හුළු අත්ත රැගෙන ගංගා නම් ගඟ වෙත දුවයි.
“මහණෙනි ඔබ හිතන්නේ කුමක්ද? ඒ මිනිහාට ගංගා නම් ගඟ තවන්නට, උණු කරන්නට හැකිවේවිද?”
“ස්වාමීනි, ඒ මිනිහාට එය කළ නොහැකියි. ගංගා නම් ගඟ ගැඹුරුයි. මහා දිය කඳකින් පිරුණකි. හුළු අත්තකින් කෙසේ ඒ ගඟේ දිය උණු කරන්නද? ඒ මෝඩ මිනිහා වෙහෙසීම පමණයි සිදුවන්නේ.”
මහණෙනි, නොමනා වචනයෙන් මෛත්‍රී සිත වෙනස් කරන්නට යාමද එබඳුය. යම් කිසිවෙක් කාලෝචිත වූ හෝ නොවූ, සත්‍ය වූ හෝ අසත්‍ය වූ, රළු වූ හෝ මෘදු වූ, අර්ථ සහිත වූ හෝ අර්ථ රහිත වූ වචන මාර්ගයකින් නුඹලා ඇමතුව හොත් ළාමක වචන නිකුත් නොකොට, හිතානුකම්පීව, ආකාශය හා සම වූ මෛත්‍රී සිත පතුරුවා වසන්න. එවිට ඒ වචන නිකුත් කළ පුද්ගලයා වෙහෙසට පත්වීම පමණකි සිදුවන්නේ.
මජ්ජිම නිකාය, කකචූපම සූත්‍රය.

Sunday, March 11, 2018

දුකට පත් බොහෝ දෙනා පුණ්‍ය ක්‍රියා වල නියැලී පතන්නේ ලබන ආත්මයවත් දුකින් තොර වේවා යන්නයි. ඒ භව තණ්හාව නොවේද? දිව්‍ය ලෝකයේ සැප සම්පත් වලට ආශාවෙන් මරණින් මතු දිව්‍ය ලෝකයක උපදින්නට සිතා පින් දහම් කරන උදවියත් අප අතර අඩු නොවෙයි. මරණින් මතු දිව්‍ය සම්පත් ලැබුවත් ඒ පින් බලය අහවර වූ දිනෙක නැවතත් ලබන්නේ මිනිසත් බවයි. නැතිනම් පෙර පින් නිසා යටපත්ව තිබූ අකුසල් විපාක දී දුගතියක ඉපදෙන්නටත් සිදුවේවි. මිනිසත් බව ලද අවස්ථාවේ එය ප්‍රයෝජනයට ගෙන, චතුරාර්‍ය සත්‍ය අවබෝධය පතා කුසල් රැස් කලා නම් එයම සසර පුරුද්දක් බවට පත් කරගෙන සසර ගමන කෙටි කරගත හැකි නොවේද?
”තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො
විපාකං පටිසෙවති”
යම් ක්‍රියාවක් කළ පසුව පසුතැවීමක් ඇතිනොවේද, එහි විපාක ප්‍රීතියෙන් යුතුව විඳීමට හැකිවේද, එවන් කටයුතු වල නියැලීම යහපත්ය.
(ධම්මපදයෙන්)



නතං කම්මං කතං සාධු 
යංකත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රොදං
විපාකං පටිසේවති”

යමක් කොට පසුතැවිලි වීමට සිදුවේ නම්, දුකට පත්ව අඬමින් එහි විපාක විඳීමට සිදුවේ නම්, එවන් ක්‍රියා සිදු නොකළ යුතුය.