Saturday, March 10, 2018

“කර්මයෙන් සියල්ල සිදුවෙතැයි බොහෝ දෙනා සිතති. ඉරණම කර්මය යයි ඔවුහු සලකති. කර්මයෙන් සියල්ල සිදුවේ නම් උත්සාහයක් කුමටද බ්‍රාහ්මණය? මේ කර්මවාදය නිසා බොහෝ මනුෂ්‍යයෝ නිවටව පසුවෙති; අලස ව නිදති. යහපත් සිතිවිලිත් දෘඪ ආත්ම ශක්තියක් ඇත්නම් පින්වත ඔබට බුදු විය හැකි ය. සිත දෛවයේ නිර්මාතෘ වරයාය. ඔබේ සිතුවිලි බලය අනුව ඔබේ ඉරණම විසඳේ.” 




සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනං

සත්‍ය සොයා යන ගමනෙදි සෝවාන්, සකෘදාගාමී ආදී මාර්ගඵල වලට පැමිණ නිර්වාණය ලඟාකරගත හැකි අවස්ථා තිබියදීත්, ඒ අවස්ථා සියල්ල මඟහැර බුද්ධත්වයට පත්වෙන්න යම් මිනිසෙක් කල්ප ගණනක් පෙරුම් පුරනවා නම්, ඒ අපි වගේ සුවහසක් මිනිසුන් කෙරෙහි වන මෛත්‍රිය සහ මහා කරුණාව නිසයි. අපිටත් සසරින් එතෙර වන්නට මාර්ගය විවර කරන්නටයි. මිහිමත පහලවෙන හැම බෝසත් වරයෙක්ම කල්ප ලක්ෂ ගණනාවක් පෙරුම් පුරන්නෙ අපි වෙනුවෙන්. ඒත් ඔවුන් මහා කැපවීමක් කරලා අපි වෙනුවෙන් විවර කරන ධර්ම මාර්ගය, මෝහයෙන් අන්ධ වෙලා අපි විසින්ම වසා දමනවානම් ඒක අපරාධයක්.

බුදුරජාණන් වහන්සේ උපක ආජීවකට තමන් වහන්සේව හඳුන්වා දුන්නේ, තමන් මිනිසුන් අතර උපන්, මිනිසුන් අතර දිවි ගෙවන, එහෙත් මිනිසුන් තුළ වන කෙලෙස් නමැති මඩ ගොහොරුවෙන් මිදුනු අසමසම බුදුවරයෙකු යනුවෙනුයි. බෞද්ධ අපට බොහෝවිට, බුදුවරයෙක් කියන්නෙ අප අතරින්ම බිහිවෙන මනුෂ්‍යයෙක් බව අමතක වෙන බවක් පෙනෙයි. ශ්‍රද්ධාව නිසා බුදුරැස්, පෙළහර වලට වන්දනා කරමින් ගෙවන ජීවිතයෙන් ඉඩක්, සත්‍ය සොයා යාමටත් වෙන් කරනවා නම් ඒක බුදු වරයෙකුට කරන වටිනාම පූජාවක් වේවි.
ඔබ සහ බුදු දහම යනු ඔබේම ඇතුලාන්තය පෙන්වන කැඩපතකි